කිරිකඩ පූජාව පාරමිතාවකි.
කිරිකඩ පූජාව පාරමිතාවකි. සිදු කළ හැක්කේ එක් වතාවකි. මනමාලයකු බවට පත් නොවී කිරිකඩ පූජා කිරීම තහංචියකි. එමෙන් ම හතර වරිගයේ ඥාතීන් රැස්වී සිටිය යුතු ය. තවද මහ පොළොව මත දෙපා තබාගෙන කිරිකඩ පූජා කිරීම සිරිත් සම්මත තහංචියකි. එහෙයින් වැව්ගම්මානවල කුල සිරිත් අනුව මඟුල් දොහේ පේවී කිරිකඩ පූජා කරනුයේ ගෞරවනීය ප්රාර්ථනාවක් ඉටුකරන විලාසයෙනි.
කරකාර මඟුල් දා මනමාලියක හිමිවීම යනු ස්ත්රී ප්රාණයක් ලැබීමක් ලෙස නොපිළිගැනෙයි. මනාලියක බවට පත්වීමට දියණියක වැදීම පමණක් නොව හැදීම ද කළ යුතුවේ. ඒ සියලු උරුම හිමිකම්කාරිය වන්නේ ‘අම්මා’ ය. දියණියක පෝරු පිට තබා තවත් අම්මා කෙනෙකු බිහි කිරීමට පාරමිතාවක් පුරන පළමු පියවර ලෙස කරකාර මංගල්යය සැලකෙයි. එහෙයින්, එදින අනාගත මවක හදා වඩා තිළිණදීම වෙනුවෙන් පෙවූ කිරිබර හැර කුසල් රැස්කිරීම පිණිස මනමාලයෙකුට හිමිවන එකම අවස්ථාව වන්නේ පෝරු පිට සිඳ කිරිකඩ පූජාව කිරීම ය.
පෙළක් ඇත්තෝ කච්චිකිරිකඩ නැතිනම් කිරිකඩ හේලය යනුවෙන් ද මෙය හඳුන්වති. කිරිකඩ පූජාව සඳහා කපු රෙද්දෙන් වියන ලද ‘රෙදි කච්චියක්’ යොදාගැනීම සිරිත ය. එහෙත්, පොදුවේ සම්මතව ඇත්තේ කපු රෙදි යාර හතක් හෝ එයට වැඩි ප්රමාණයක් පිදීම ය. කපුරෙදි හිඟවූ විට ඇතැම් වැව් ගම්මානයක රියන් හතක් හෝ එයට වැඩි ප්රමාණයක් දක්වා වෙනස් වී තිබෙයි. ධවල පැහැති කපු රෙදි හැර වෙනත් පටපිළි හෝ තිළිණ දීම සපුරා තහංචියක් ලෙස පිළිගැනෙයි.
වැව් ගම්මාන මංගල සිරිත් අනුව මනමාලයා කිරිකඩ රෙදි රැගෙන ආ යුතු අතර එහි වගකීම මනමාලයා පෝරුපිට නංවන ඇවැස්ස මාමණ්ඩිය වෙත පැවරෙයි. කඩුලු බුලත් දී මනමාලියගේ ගංගෙදරට ඇතැළුවන විට කිරිකඩ පූජාවට සූදානම්ව සිටින බව මනමාලියගේ පාර්ශ්වයට දැනුම් දීම ද මංගල්ල සිරිතකි. ඒ අනුව කිරිකඩ නොමැතිව මනමාල පාර්ශ්වයට මනමාලියගේ ගෙදෙට්ට ගොඩවීම තහංචියක් ලෙස සැලකේ. ඒ සියල්ලට හේතුව වන්නේ ජීවිතයේ එක් වතාවක් සිදු කළ හැකි උතුම් පූජාවක් ලෙස කිරිකඩ සැලකීම ය.
දෙවන හෝ තෙවන වර විවාහයක දී මනමාලයා සහ මනමාලිය පෝරුපිට නැඟීම තහංචියක් ලෙස පිළිගැනෙයි. එයට හේතුවක් ලෙස සැලකෙන්නේ ද මනමාලියක හිමිකර ගැනීමේදී ජීවිතයට එක්වරක් පමණක් කිරිකඩ පිදීමේ සිරිත සිදු කර ඇති හෙයිනි. යළි - යළිදු ආවාහ - විවාහයට මනාල - මනාලියන්ට තහංචියක් නැත. එහෙත් කිරිකඩ පිදීමේ උතුම් චාරිත්රය තහංචිය. එබැවින් ද මනාලියකට හත්පොට මාලය කරපැලඳීම සිදු කළ යුත්තේ ද එක්වරකි. යම්විටක දෙවන මඟුලක් ගන්නේ නම් ඒ ඇත්තන්ට කිරිකඩ පිදීම තහංචිය. මනමාලිය හිමිවීම හේතුවෙන් ඇය උදෙසා ඇගේ මවට සත්කාර කිරීම කුලුඳුල් පූජාවකි. දෙවන තෙවන වර එහි කුලුඳුල්භාවය නොමැති හෙයින් මවට කිරිකඩ පූජා නොකරයි.
කිරිකඩ මඟුල් ගෙදරට රැගෙන ඒම සහ එය රැක බලා ගැනීම මනමාලයා පෝරුවට නංවන ඇවැස්ස මාමණ්ඩියට පැවරී ඇති යුතුකමක් සේ සලකනු ලැබේ. එමෙන් ම මනමාලියගේ ගෙදෙට්ට ගොඩවන විට ‘කඩුලු බුලත්දීම’ සිරිතය. ඒ අවස්ථාවේදී මනමාලියගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර කිරිකඩ සඳහා උචිත ස්ථානයක් ලබාගනියි. මන්දයත් බිමක, පිළක, හෝ නුසුදුසු තැනක කිරිකඩ තැබීම තහංචි වන අතර එය මනමාලියගේ පාර්ශ්වයේ ඇත්තන්ට පෙන්වීම ද තහංචි ලෙස සැලකෙයි. ගෞරවයෙන් රැගෙන එන රහසිගත පිළිවෙතක් ලෙස කිරිකඩ මඟුල් ගෙදර දී රැකවල් කරගැනීම පිළිගැනෙයි.
නැකතට පෝරුවට ගොඩවූ මනමාල යුවළ සඳහා සිරිත් ඉටු කිරීමට පෙලඹෙනුයේ මංගල අෂ්ටක කියන තැනැත්තා ය.
දෑඟිලි බැඳ අත පැන් වඩා සිරිත් කරන අතර මනමාලියට අත කනකර පැලඳීම, මඟුල් මුදු පැලඳීමට පසුව වස්ත්ර පැලඳීමේ අවස්ථාව උදාවෙයි. ඒ සියල්ල පෙර සිරිත් පරිදි සිදුවන අතර බුලත් හුවමාරුව සහ ආහාර පිළිගැන්නුම ද කළ යුතුවේ. මේ චාරිත්ර අවසන් වූ පසු එනම් මනමාලයා මනමාලියට ද මනමාලිය මනමාලයාට ද ‘හත්බුලත් අත්’ හෙවත් බුලත් අත් හතක් පිදීම සිරිත ය.
එමඟින් සත්පත්තිනි ආශිර්වාද ලබාගැනීම ද දෙදෙනා එකිනෙකාට ගෞරවාචාර කිරීම ද අරමුණකි. එයින් ඉක්බිතිව පිදිය යුත්තෙක් වෙයි.
ඒ මනමාලියක ලෙසට දියණිය වදා - හදා දුන් මවට සත්කාර කිරීම ය. ඒ අවස්ථාව උදාවන තුරු මනමාලයා සහ මනමාලිය පෝරුව පිට සිට දෙදෙනා වෙනුවෙන් කළ යුතු චාරිත්ර හා වතාවත් පමණක් ඉටු කරනු ලබයි. අෂ්ටක කියන තැනැත්තා අවස්ථාව උදාවූ වග දන්වන විට මඟුල් පෝරුව ඉදිරියට පැමිණෙන්නේ මනමාලියගේ මව ය.
යම් විටක මනමාලියගේ මව අහිමි වූයේ නම් එවිට ඇය බාලේ සිට හදාවඩා ගත් සුළුමවකට ඉදිරිපත් වීමේ අවස්ථාව උදාවෙයි.
මව පෝරුව ඉදිරිපිට සිට ගැනීම සිරිත ය. මෙතෙක් වේලා මනමාලයාටත් - මනමාලියටත් වුවමනා ද්රව්ය පෝරුවට පිළිගන්වනුයේ දෙපසිනි. ඒ මනමාලියගේ සහ මනමාලයාගේ පසිනි.
නමුදු කිරිකඩ පූජාව පිණිස මව මඟුල් පෝරුව ඉදිරිපිට සිටින විට ඇයට කිරිකඩ පිදිය යුත්තේ ඉදිරිපසිනි. එහෙත් මනමාලයාට කිරිකඩ ලබාදෙන්නේ ඇවැස්ස මාමණ්ඩිය මනමාලයා පෝරුවේ සිටින පාර්ශ්වයෙනි. එය රැගත් මනමාලයා කිරිකඩ මනමාලියගේ මවට දෝතින් පිරිනැමිය යුත්තේ තනිව නොවේ. මේ කිරිකඩ පූජාවට මනමාලියට ද අතතැබීමට ආරාධනය කරයි.
කිරිකඩ පූජාවේ තිබෙන වටිනාකම හා එහි උරුමය අෂ්ටක කියන්නා හතර වරිගයේ ඥාති සමූහයාට පහදා දීම ද සිරිතකි.
එලෙස මනමාලයා විසින් නැන්දම්මා වෙතට පිරිනැමූ කිරිකඩ නැන්දම්මා දෝතින් ලබාගත් පසුව ඇය එය හිස පිට තබාගෙන එතැනින් නික්මී යා යුතු ය. ඇයට නැවත මංගල්යය පැවැත්වෙන පරිශ්රයට පැමිණිය හැක්කේ මනමාලයා සහ මනමාලිය පෝරුවෙන් බැස්සාට පසුව ය. එතෙක් මනමාලිය දෙස බලා සිටී නම් එය මනමාලියට වස් වැදීමට හේතුවක් ලෙස වැව් ගම්මානවල ඇත්තෝ පිළිගනිති. මන්දයත් කිරිකඩ පූජාව හෘද සංවේදී නෙතඟට කඳුළු උණන අවස්ථාවකි. මඟුල් පෝරුවේ සිටියදී මනමාලිය ඉකිගැසීම අශෝභන ක්රියාවක් ලෙස පිළිගැනෙයි. එබැවින් කිරිකඩ පූජාව ලබාගත් මනමාලියගේ මව වහා එතැනින් ඉවත්වීම වැව්ගම්මාන ඇත්තන්ගේ මඟුල් සිරිතක් සේ සැලකේ.
කිරිකඩ පූජාව මවක ලබන්නා වූ උතුම් තිළිණයකි. එය ලැබීමට මව වාසනාවන්තියක් වන්නා සේ කිරිකඩ පූජාවෙන් පසුව කිසිදු ඥාතියෙකුට පෝරුවේ සිට තෑගි පිරිනැමීමක් සිදු නොකරයි. මනාල යුවළ පෝරුව මත සිටියදී මනාලයාගෙන් තෑගි හිමිකම ඇත්තේ මනාලිය වදා - හදා දැඩිවේනි කළ මවට පමණි. මවක වීමේ උරුමය මොනතරම් උතුම් දැයි හතර වරිගයේ ඥාතීන් සියලු දෙනා කිරිකඩ පූජාවෙන් හඳුනා ගනියි. බාල ලියන්ට මෙන් ම බාලකයන්ට ද මෙය ආදර්ශයක් බවට පත්වෙයි.
මව - පියා, අයියා, අක්කා ආදී ඥාති හිතවතුන්ගේ නම් අඬ ගසා පෝරුව මත සිටින මනමාල යුවළගෙන් තෑගි ලැබීම හෝ බුලත් ගැනීම මඟින් මවකගේ භූමිකාවේ ඇති උතුම් පූජනීය හිමිකම හෑල්ලුවට ලක්වෙයි. මවක වීම හා දියණියක නිසි ලෙස තැනීමේ උරුමයට පුද සත්කාර කිරීම මවට පමණක් හිමි වූවකි. වැව්ගම්මාන මංගල්ය සම්ප්රදායට අනුව මඟුල් පෝරුව මත සිටියදී තෑගි ලබාගත හැකි එකම අවස්ථාව මනමාලියගේ මවට පමණක් සීමා කළේ මේ හේතුවෙනි. එබැවින් තිළිණයක් ලෙස නොව ‘කිරිකඩ පූජාවක්’ ලෙස ගෞරව කිරීම වැව්ගම්මාන සම්ප්රදායකි.
Comments
Post a Comment